Wednesday, March 04, 2015

නවගලා පුරාණ චෛත්‍ය ඉදිකිරීම (Ancient Nawagala Stupa Construction)

දෙවියන් වැඩ සිටින පුරාණ නාවාගල පිං බිමේ පිං පුරාගත හැකි පිංකමක්....

සටහන - මම මෙම ස්ථානයට ගියෙමි. කාටියය යනු සුන්දර සොබාව  අලංකාරයෙන් යුතු රමණීය ගමකි . අහිංසක ගම වැසියන් පිරිසක් මෙම චෛත්‍ය ඉදිකිරිම සදහා මොහොම මහන්සියෙන් වෙර දරමින් පවතී. ඔබගේ ආධාර උපකාර අවශ්‍යම මොහොතක චෛත්‍ය සංවර්ධන පවතී . හැකි පමණින් උපකාර කර දෙව් මිනිස් සැප සලසගන්නා මෙන් කරුණාවෙන් ඇරයුම් කරමි. චතුරාර්‍ය සත්‍ය අවබෝදයට මෙම පින සෙමදෙනටම උපනිශ්‍ය වේවා. (05/03/2015)



උපුටා ගන්න ලදී ...

කැකිරාව තලාව හරහා අනුරාධපුර මාර්ගයේ මධ්‍යයෙහි පිහිටා ඇති එප්පාවල නගරයේ සිට කිලෝ මීටර් 3ක් පමණ දුරින් පිහිටා ඇති. නාවාගල චෛත්‍ය රාජයන් වහන්සේ. පුරාවිද්‍යා දේපාර්තුමේන්තුවෙහි පුර්ණ අධීක්ෂණය යටතේ යලිත් ප්‍රතිනිර්මාණය වෙමින් පවතී. එම සෑ රඳුන් නිසා අප බොහෝ පිං රැස් කරගතිමු. මේ සියලු කටයුතු සඳහා අප සමඟ බොහෝ පිරිසක් එකතුව කටයුතු කරයි.

මේ උතුම් පුණ්‍ය භූමිය දෙවියන් වැඩ සිටින භූමියකි. එය මෙහි අප සිදු කරන්නට බලාපොරොත්තු වූ පුණ්‍ය කටයුතු සිතුවාටත් වඩා ඉහල අන්දමින් සිදු කරගැනීටම අවශය සියලු පාරිසරික සහයෝගය, හා සම්පත් දායී පුද්ගලයන්ගේ මුණ ගැස්සීමත් බැලූ විට අප විසින් පසක් කරගත් කරුණකි. එය සරල නොවේ. අසාමාන්‍යය ය. සමහර අවස්ථාවන්හිදි අප බලවත් අපහසුතාවට පත් වු අතර එයින් පැයකට පමණ පසුව අප කිසි සේත් බලාපොරොත්තු නොවන අයුරින් අප සිතුවාටත් වඩා ඉහලම අයුරින් එය ඉටු කරගැනීමට මග පාදනු ලබයි. මේ එවැනි එක් සිදුවීමක් පමණි.
මම ධාතූන් වහන්සේලා සහිත කරඬුව ද රැගෙන බුද්ධංගල ආනන්ද ස්වාමීන් වහන්සේගේ මස්සිනා කෙනෙකු වෙන පිංවත් විජේතුංග මහත්මා විසින් සපයා දී තිබු වාහනයේ ගල් කරඩුවක් ද රැගෙන නාවාගල සෑයට යාමට කටයුතු යොදා තිබුනි. ඒ ගර්භ ධාතු නිධානෝත්සව පිංකම සඳහා ය. ඒ සඳහා පිළියෙල කරතිබු නිධන් වස්තු සහ ගල් කරඬුව වැඩම කරවාගෙන යාම ගමනේ අරමුණ විය. එම කටයුත්ත එම වාහනයෙන් ඉටු කරගත හැකි යයි අප සිතා සිටිය ද ගල් කරඩුව රැගෙන යාම එයින් කිසිසේත් කල නොහැක්කක් බව අපට අවබෝධ වූයේ පසුවය. ඒ අනුව ඒ සඳහා වෙනත් වාහනයක් යොදා ගැනීමට කතා කොට කිලෝ දහසකට ආසන්න බරක් තිබු ගල් කරඬුව ඉහත කියන ලද වාහනයෙන් බා ගැනීම සහ නැවත වාහනයකට පැටවීම අසීරු කටයුත්තක් වූ බැවින් ඒ සඳහා බර ඔසවන වාහනයක උපකාර ඉල්ලා සිටීමට අප තීරණය කලෙමු.

ඒ තීරණය මත ඉඳ කටයුතු කරමින් අප ඉදිරියට ගියේ වත්තේගම විදුලි බල මණ්ඩලයේ හිතවතෙකුට කතා කොට ඒ ගැන විමසා බලා අදාල කටයුත්ත කරගැනීමේ චේතනාවෙනි. අප වාහනයේ රියදුරු මහත්මා ඔහුගේ හිතවත් මහත්මයෙකුට දුරකතන ඇමතුමක් ගැනීමට වාහනය නතර කරන්නට අවසර ඉල්ලා අයින් කොට වාහනය නතර කරන ලදි. පුදුමයකි. වාහනය නතර කරන ලද තැනට පේන මානයේ බර ඔසවන වාහන කීපයක් ම තිබෙන මා නෙත ගැටුනි. මද වෙලාවක් සිටින ලෙස අජිත්ට (රියදුරු) මහත්මාට පැවසූ මම අදාල ආයතනයට ගියෙමි. මා එම ආයතනය කුමක් ද යන්නවත් ඒ වන විට දැන නොසිටියෙමි. (සිහෙරා ආයතනය බව පසුව දැනගතිමි)

එම ආයතනයේ නිළධාරිවරයෙකු යැයි සිතිය හැකි කෙනෙකු සමඟ මා මගේ අවශ්‍යතාවය කියා සිටියෙමි. එතුමා මදක් රැදී සිටින ලෙස පවසා ඉහල නිළධාරියෙකුට මාව යොමු කරන ලදි. අප ඉල්ලා සිටියේ මෙපමණකි. “මහත්තයෝ මේ කුඩා වාහනයේ තියෙන ගල් කරඩුව ගොඩක් බරයි. ඒක ඒ වාහනයට ඔරොත්තු දෙන්නෑ ඒ නිසා කරුණාකර එය මේ භූමියේ තැනකට බාගෙන අපි රැගෙන එන ලොරියට පටවලා දෙන්න පුළුවන් නම් අපට මේ වෙලාවේ කරන ලොකු උපකාරයක්“ ඔවුන් අපගේ ඉල්ලීම කිසිදු ගැටළුවක් නොමැති බව පසවා බාරගත්හ.

අප ධාතු කරඬුව ඔවුන්ගේ කාර්‍ය්‍යාලයට වැඩම කරවීමු. සුදු රෙදි ඇතිරූ මේසය මත ධාතූ කරඬුව තැබූවෙමු. ධාතූන් වහන්සේලා වැදපුදා ගන්නට පැමිණ එහි ප්‍රධාන නිලධාරී මහත්මා අප වෙත මෙසේ කියා සිටියේ ය.“අද හරිම පුදුම දවසක් ස්වාමීන් වහන්ස, කවදාවත් නැතිව මේ කාර්‍ය්‍යාලය අද මම එන විට සෝදනවා. මේ ධාතූන් වහන්සේලා දැන් මේ වැඩම කරවලා තියෙනවා හරිම පුදුමයි“ ඔහු ඔහුට දැනුන හැගීම අප සමඟ එසේ බෙදාගත්හ.

අප වාහනයට අනවශ්‍ය බරක්ව තිබුණු ගල් කරඬුවෙන් නිදහස්ව එතැනින් නික්ම වැඩියෙමු. අප පුදුමයට පත් කරමින් අදාල ආයතනය බර එසවීම සඳහා යොදාගන්නා වාහනයක් යොදගෙන අප එහි බා පසුව රැගෙන යන්නට කටයුතු යොදන බව පවසා තබා තිබූ ගල් කරඬුව නාවාගල පිං බිමට වැඩම කරවාගෙන අප පසු පසින් එන බව අපට දැනගන්නට ලැබුණි. ඔවුන් අපට කියා සිටියේ මෙපමණකි. ස්වාමීණ් වහන්සේ මේ හදිසියේ ම අපට ගෙනැවිත් දුන්න පිංකම කාටවත් නොදී අපිම කරගන්න ඕනේ කියලා අපේ හැමෝ ම කල්පනා කරනවා. ඔවුන් අපට එසේ කියා සිටියෝ ය.

එපමණක් නොව එම අකරතැබ්බය නිසා අපට එම ආයතනයේ වැඩ කරන බණ්ඩාර මහත්මයා මුණ ගැසුණි ඔහු බොහෝ ශ්‍රද්ධාවැති පුද්ගලයෙකි. එතුමා චෛත්‍යය වෙත පැමිණ ගල් කරඬුව අපට අවශ්‍ය තැනින් ම බා ගැනීමට කටයුතු කර ගියා පමණක් නොව. පසුව ද අප විසින් එම ස්ථානයෙහි සිදු කරනු ලැබූ ගර්භ ධාතු නිධානෝත්සවයට ද සහභාගී විය. එම අවස්ථාවේ එතුමාගේ පුද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂයක් පුජා කරන ලදි. ඒ සඳහා පැවැත්වූ සාකච්ඡාවේදී එතුමා සමඟ පැමිණ සිටි එතුමාගේ කළ්‍යාණ මිත්‍රයාද රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කරන්නට පොරොන්දු විය. එම මුදල් චෛත්‍ය කර්මාන්තය සඳහා අවශ්‍ය කරන අළුහුණු සදහා යෙදවීමට අදාල චෛත්‍ය සංවර්ධන කමිටුව එකඟ වූ අතර එම කටයුත්ත සඳහා අවශ්‍ය කරන අළුහුණු ලබාදීම සඳහා ඉතාමත් විධිමත් වැඩ පිළිවෙලක් ද ඒ සමඟ ම සකස් විණි. මේ වන විට එම පිංවතුන්ගේ මූලිකත්වයෙන් චෛත්‍යය කර්මාන්තය සඳහා අළුහුණු කිලෝ විස්සේ පැකට් 1500ක් ලබා දීමට කටයුතු කර ඇත. එය නාවාගල චෛත්‍ය සංවර්ධණ කමිටුවට සහ දායක සභාවට අවශ්‍ය වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාමට නොමද පිටිවහලක් විය.

මා මෙතෙක් කී කතාවේ ගල් කරඬුව නිසා අප පත්වූ අපහසුතාවය නොවන්නට මේ කිසිවක් සිදු නොවන්නට ඉඩ තිබුණි. මා එයින් එක් දෙයක් සිතට ගතිමි. මේ අපට උපකාර කරන්නා වූ ඒ භූමියේ සිටින දෙවියන්ගේ මැදිහත් වීමකින් කරන ලද යොමු කරවීමක් බව ය. මෙවැනි සිතිවිල්ලකට මා එන්නට හේතු වූ පලමු කරණ මෙය නොවේ. ඒ කරුණු ගැන ද සටහන් තියන්නට සිතා මේ කතාව මෙයින් අවසන් කරමි.

මේ උතුම් පුණ්‍ය භූමිය යලි ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින අතර එහි ධාතූ නිධානෝත්සව කටයුතු අපගේ මූලිකත්වයෙන් සිදු කරගෙන යනු ලබයි. අපට මේ සෑ රඳුන් භාග්‍යවතුන් වහන්සේ උදෙසා උපස්ථාන කරමින් පිං කරගන්නට ලැබුණු මහා ලාභයකි. දිනක් එහි පිරිත් කියා ඇවිදින විට මා සිත වූ සිතිවිල්ලක් විය. එනම් සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරා වට ලොව පහල වී වදාළ වු අටවිසි සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගේ ගුණ සිහි කොට එම සම්බුදු රජාණන් වහන්සේලා වෙනුවට බුද්ධ ප්‍රතිමා නිධන් කරන්නේ නම් මේ උතුම් සෑ රජාණන් වහන්සේ ඒ සියලු බුදු රජාණන් වහන්සේලාගේ ද ගුණ උදෙසා කරන ලද පුජාවක් ද වන්නේ ය. කියා ය. ඒ අදහස දායක පිංවතුන්ට පවසන ලද අතර පසුව එම කටයුත්ත සිදු කිරීම සඳහා කටයුතු යොදන ලෙස අපට දන්වන ලදි.

ඒ අනුව අටවිසි බුදු රජාණන් වහන්සේලා පිත්තල ලෝහයෙන් නිර්මාණය කරගැනීමට කටයුතු යෙදවුයෙමි. විසි අට දෙනෙකුගේ සහභාගීත්වය ඇති එම බුදු පිළිම වහන්සේලා නිර්මාණය කරගැනීමට අපට හැකි විය. බුදු පිළිම වහන්සේලා විසිට අට මනාව සරසන ලද රන් සිවි ගෙයක නංවා නාවගල සෑ මුදුනෙහි පළදවන කොත් වහන්සේද සමඟින් මහනුවර සිට නාවාගල උතුම් පිං බිම දක්වා වැඩම කිරීමටත්, නාවාගල පිං බිමේ මනාව සකසන ලද බුදු කුටු විසි අටක තැන්පත් කෙරෙන බුදු පිළිම වහන්සේලා උදෙසා සතියක් පුරා අටවිසි බුද්ධ පුජාවන් පවත්වමින් බුද්ධෝපස්ථාන කරන්නටත්, දහවල් දවස පුරාවට අටවිසි පිරිත සජ්ඣායන කරමින් ඒ දින සත ම පිරිත් කරන්නටත්, අවසානයේදී පෙබරවාරි අට වෙනි දින උදෑසන කිරිආහාර බුද්ධ පුජාව, දහවල් බුද්ධ පුජාවන් පවත්වා වන්දනා කොට පිරිත් දේශනා මධ්‍යෙයහි සෑ රඳුන්ගේ මැනවින් සකසන ලද ගර්භයෙහි කුටීර විසි අටක් තුල තැන්පත් කරමින් අටවිසි බුදු රජාණන් වහන්සේලාගේ උතුම් සම්බුදු ගුණයට උපහාර පුජාවන් කරන්නටත් කටයුතු යොදාගෙන ඇත්තෙමු.

එහිදි සිදු කෙරෙන විශේෂ පුජාවන්.....

සුවඳ පැනින් මුලු පුණ්‍ය භූමිය දෝවනය කිරීම, සඳුන් තෙල් පහන් දැල්වීම, සුවඳ ඳුමින් පිං බිම සුවඳ වත් කිරීම, නේක මලින් සෑ රඳුන් සැරසවීම, ස්වර්ණ වර්ණ කංචුකයෙන් සෑ බඳ සැරසවීම, යනාදී අනේක විද පිංකම් සිදු කිරීමට කටයුතු යොදා ඇත. මේ උතුම් පුණ්‍ය කටයුත්තට සහභාගී වීමට කැමතිනම් පැමිණ සහභාගී වීමට ඔබ සැමට ආරාධනා කරමි.
පැමිණෙන මඟ කැකිරාව, තලාව හරහා අනුරාධපුර මාර්ගය, එප්පාවලට කලින් හමුවන කටියාව හන්දියෙ සිට කිලෝමිටර් 3ක් පමණ ගිය තැන නාවාගල රජමහා විහාරයට පැමිණිය හැකිය.

විමසීම්.....

0718397484(නාවාගල චෛත්‍ය සංවර්ධන කමිටු ප්‍රධාන අනුසාසක හිමි)
0717991718(චෛත්‍ය සංවර්ධන කමිටු සභපති)
0772758471(නාවගල දායක සභාවේ සභාපති)


http://amazinglanka.com/wp/nawagala-raja-maha-viharaya/