Sunday, August 16, 2015

විහාර මහාදේවී කරවූ අසිරිමත් නාවාගල සෑ රඳුන්

“නාවාගල සෑයේ කැනීම් තුලින් රන් කරඬුවක් මතුවේ”  පියාණන් දැක බලාගන්නට ගම් පියසට යමින් සිටි මා හට එම ගුවන්විදුලියෙහි ප්‍රවෘත්ති විකාශය කෙරෙහි වහා අවධානය යොමු විණි. නාවාගල ඒ අපේ ගමට අල්ලපු ගමයි. මට ඒ පිළිබද මතකයන් දෙකකි. අපේ දෙම්ව්පියන් නාවාගල විහාරයට ආසන්න ඉඩමක කුඹුරු වැඩ කළ අයුරු සහ නාවාගල රජමහාවිහාරයේ එවකට වාසය කළ විහාරාධිපති හිමි නමක් අපවත්වී උන් වහන්සේගේ ආදාහනයට මාත් මල්ලිත් පවුලේ සැමත් එහි ගිය දවස  යන මේ මතකයන් දෙකයි. මේ මතකයන් දෙක මේ ප්‍රවෘත්තිය  මාගේ ජිවිතයට සම්බන්ධ වූවක් බව මට සිහිපත කරදුනි. අපවත් වූ හිමිනමගේ ආදාහනය දා සවස නාවාගල සෑය යයි කියන කඳු පාමුල අපි සෙල්ලම් කලෙමු. එකල අපි කුඩා දරුවන් ය. දගකාර වයසට කිසිවක බරක් පතලක් නොතේරේ. නමුත් අද ඒ සෙල්ලම් කල මාත් මාගේ නිවුන් සොහොයුරාත් සසුන්ගත සම්බුදු සමිදුන්ගේ ශ්‍රාවක දරුවන් ය.


පියාණන් දැක බලාගත් මාත් සොහොයුරු හිමියනුත් මේ නාවාගල සෑයෙන් මතු වූ රන්කරඩුව යන මාතෘකාවෙන් තල්ලු කරන ලදුව පියාණන් ද කැටුව උතුම් පිං බිමට පිවිසියෙමු. අතීතය සහමුලින් ම මකා දමා සංවර්ධනය වී ඇති ගම් පියස දකිමින් අප එහි ලගා විමු. අපගේ සිත් පහන් සංවේගයෙන් ද බුද්ධාලම්භන ප්‍රිතීයෙන් ද යන දෙහැඟුමින් ම තෙරපන ලදි. නාවාගල සෑ රඳුන් එදා වූ විලාසය සහමුලින් ම අතුරුදහන් කොට පුරා විද්‍යා නිළධාරීන්ගේ කැනීම් කටයුතු වලින් අනතුරුව එය ප්‍රතිසංස්කරණයට මුල පුරා තිබුණි.  පියාණන් සහ අපි සෑය වටා ගොස් වන්දනා කළෙමු. පසුව එහි වැඩ කරන අය සමඟ කතා කරන විට සෑ ගර්භය නිධන් හොරුන් විසින් සාරා තිබූ අයුරුත් එය වසර එකසිය පනහකට පමණ පෙර සිදු කරතිබූවක් බව අනාවරණය කරගන්නට හැකි බූ බවත් දැනගන්නට ලැබුණි.
“අපිට සෑ ගර්භය ඇතුල බලන්න පුළුවන් ද,? ” මා  සිතට නැගුණු අදහස් නොපමාව ඔවුන්ට ඉදිරිපත් කලෙමි. ඔවුන් එයට අවසර දුන්හ. අපි අතීතයට පිවිසෙන්නාක් වැනි හැඟූමකින් සෑ ගර්භය තුලට පිවිසියෙමු. බුදු ගුණ ගයමින් ද පිරිත් කියමින් ද අපේ සිත් පිනා යන  ලෙසක් දකිමින් අප එහි තරමක වෙලාවක් ගතකලෙමු. කිසිවෙකුගෙන්වත් බාධාවක් නොවී ය.
“මේ තියෙන්නේ සෑ ගර්භ කුටීර වල චිත්‍ර කර්මාන්ත පවා කරලා තිබිලා තියෙනවා අපේ හාමුදුරුවනේ”. කව්රුන්ද යන්න මතකයක් නැතත් මා හට කිසිවෙකු එසේ කියමින් ගර්භ කුටීර මත තිබුණු චිත්‍ර ගැන කියා මා එවෙතට යොමු කරන ලදි. මට ආපසු ඒමට සිතක් නැත. බොහෝ වෙලාවක් ඒ අතීත උරුමයන් සමඟ භාවනාවට සමවැදී සිටියෙමි. මා හට ලැබුණු පින මට වචනයට පෙළගැසිය නොහැකි ය.
නාවාගල සෑයේ අතීත පුරාවත.


"කතිඈගම", "කටිනයාය", "කටියාගාම" හා "කට්ටියාව" ආදී විවිධ නම්වලින් හඳුන්වන කටියාවේ පුරාවෘත්ත, ලංකාවේ ආරම්භක රාජධානිය වන අනුරාධපුර යුගය දක්වා දිවයයි. කටියාව සම්බන්ධ ප්‍රථම සාක්‍ෂිය හමු වන්නේ සිංහල බෝධි වංසයෙනි. එහි සඳහන් පරිදි ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස් ඵල බෝධීන් වහන්සේ නමක් කටියාව ප්‍රදේශයේද රෝපණය කර ඇත.
ගැමුණු රජුට කතිය නම් දෙවෙනි බිසවක් වීයැ යි කසාගල සෙල්ලිපියෙහි මෙසේ සඳහන් වේ.
"මහා රක්ඞහ ගාමිණි - අබයභ දෙවන පිය
රමණි බරියෙ මිලක තිස - විහාරෙ කාරිතෙ කතිය"



යනුවෙන් සඳහන් එහි සිංහල අනුවාදය වන්නේ "දෙවියන්ට ප්‍රිය වූ ගාමිණී අභය රජතුමාගේ බිසව වූ "කතිය" විසින් විහාරයක් කරවා මිලක්ඛතිස්ස හිමියන්ට පූජා කරන ලදී"  යන්න ය. එසේ ම මේ කටියාව ගම්පියස හා නාවාගල නාමය පිළිබද මෙසේ ජනප්‍රවා ද ඒ අතර වේ. විහාරමහාදේවිය විසින් කරවන ලද්දේ යැයි සැලකෙන කටියාව වැවට බටහිරින් පිහිටා ඇති ඓතිහාසික  නාවාගල විහාරයට එම නාමය ඇති වූ ආකාරය සඳහන් අප්‍රකට ජනප්‍රවාද දෙකකි. විහාරමහාදේවිය, දුටුගැමුණු කුමරු ඇතුළු යුද සේනාව ස්නානය කළ ස්ථානය, නාවාගල වූ බවත්, කටියාව වැව සෑදීමට හා යුද්ධය සඳහා නාව (නොපැමිණි) සිංහලයන්ගේ ශ්‍රමයෙන් සෑදූ වෙහෙර නාවාගල වූ බවත් එම ජනප්‍රවාද වේ.
මේ කියන කරුණු වලට අනුව දුටු ගැමුණු රජුගේ මැණියන් වන විහාරමහාදේවිය එළාර රජුගේ රාජ්‍ය පාලන කාලය තුල අනුරපුර ජයශ්‍රි මහා බෝ සමිඳුන් වැඳ පුදාගන්නට පැමිණි බවත්, එහිදී එළාර රජුගේ ගුණයහපත් කම් කෙසේ වෙතත්, ඔහුගේ මැති ඇමැත්තන්ගේ අකටයුතු කම් නිසාවෙන් විනාශයට යන බෞද්ධ සිද්ධස්ථාන  බෞද්ධයන්ගේ ජිවන රටාවත් දකිමින් ඒ වෙනුවෙන් යමක් කරන්නට අවැසි යයි සිතූ හෙයින් එළාර රජුගෙන් අවසර ගෙන මේ කටියාව වැව කරවන්නට ඇතැයි කියන ජනප්‍රවාද වලට තවත් සාක්ෂියක් එකතු කරයි.  කටියාව වැව තනවන විට දෙතිස් ඵළ බෝධීන් වහන්සේට බටහිරට වෙන්නට පිහිටි නාවාගල සෑ රඳුන් කරවන්නට ඇතැයි හැඟෙන විට ඒ සම්බන්ධව ඇති පුරාවෘත්තයන් සත්‍යයක් බව සිතිය හැකි ය. එසේ ම කසාගල සෙල්ලිපියෙහි ඇති ගැමුණු රජුගේ බිසවක් ගැන සදහන තුලින් විහාරමහාදේවිය ඒ පැමිණි මොහොතක දි දුටු ගැමුණු කුමාරයා ද රැගෙන එන්නට ඇති බවත්, එවන් අවස්ථාවක දී ඇති වූ මිත්‍ර කම් තුල පසුව ඈ ගැමුණු රජුගේ බිසවක් බවට පත්වීම දක්වා දුරදිග යන්නට ඇති බවත් සිතන්නට කරුණු එකතු කරයි.
කරුණු එසේ එහෙයින් ද, අනුරාධපුර අගනුවරට කිලෝමීටර් 18ක දුරකින් පිහිටි මේ ගම්පියස අතීත රජ දවස බොහෝ ආඩ්‍යව සුපෝෂිතව රාජ රාජමහාමත්‍යාදීන්ගේ වාස භූමි වන්නට ඇතැයි ද සිතීම යුක්ති යුක්ත වේ. මේ දුටු ගැමුණු බලසේනාව විජිතපුර බලකොටුව බිඳ ජයලබා අනුරාධපුරට පිවිසීමට මේ ගම් පසුකරගෙන යන්නට ඇතැයි ද මේ සියලු කරුණු සමගීන් අතීත අනුරාධපුර රාජධානියට මේ බිම් බොහෝ වටිනාකමක් ඇති ප්‍රදේශ බවට පත්වෙන්නට ඇතැයි ද සිතිය හැකි ය.
ඒ අනුව විහාරමහාදේවිය විසින් කරන ලදැයි සැලකෙන කටියාව  වැව, එතුමිය විසින් දෙතිස්ඵල බෝධින් වහන්සේ වැදපුදාගන්නට ආ ගමනේ දී සිදුකරන්නට කටයුතු යොදන්නට ඇතැයි යන්න හා ඇය විසින් ඒ කර්මාන්තයට සමගාමීව බොහෝ විට මේ නාවාගල සෑ රජුන් කරවන්නට ඇතැයි සිතිය හැකි ය.
අතීතයෙන් වර්ථමානයට වඩින නාවගල සෑ රඳුන්....


කාලයේ වැලිතලාවෙන් වැසී ගිය නාවාගල සෑ රඳුන් පමණක් නොව මේ ගම් නියම්ගම්හි සැබෑ අතීත පෞඩත්වය එහෙම් පිටින් ම නොතකා හැර ගෙවුනු කාලය අවසන් කරමින් නාවාගල රාජමහාවිහාරයට පැමිණි වර්ථමාන විහාරාධිපති මාහිමියන් වහන්සේ විහාරමහාදේවිය ගැන පුදුමාකාර පැහැදීමක් ඇතිව වාසය කළහ. උන්වහන්සේ විහාරමහාදේවීන් වහන්සේගේ ප්‍රතිමාවක් කලයුතු යයි කියා එසේ කලහ.  පසුව රජයේ අනුමැතිය ගෙන නාවාගල සෑය කැනීමට පුරාවිද්‍යා නිළධාරීන්ගේ සහාය ලබාගත්හ. කැනීම් කරන විට සෑ ගර්භය බිඳ නිධන් සොරුන් විසින් කුටීර 27ක පමණ නිධන් වස්තූන් රැගෙන ගොස් තිබූ අයුරු දැක ගන්නට ලැබුණි. ඒවා මෑත අතීතයෙහි නොව වසර එකසිය පනහකට පමණ පෙරදී සිදු වූ බව  අනාවරණය කරගන්නට පුරාවිද්‍යා නිළධාරී මහත්වරුන්ට හැකි විය.
කෙසේ වෙතත් යලි ප්‍රතිසංස්කරණය සදහා සෑ රදුන් මත වැවුනු ගස් වල මුල් ඉවත් කිරීම සිදු කලයුතු විය එම කටයුතු සිදු කරන අතර ගල් කරඬුවක තිබී රන් කරඬුවක් ද ඒ තුල රන් සුර ද , මැටි කරඩු හා පලිඟු කරඩුද තවත් කුඩා ප්‍රමානයේ රන් කරඩුවක් හා රන් සුරයක් ද තවත් නිධන් වස්තූන් තැන්පත් කල ගල් භාජන හා පුරාවස්තූන් රැසක් සොයා ගන්නට පුරාවිද්‍යා නිළධාරීන්ට හැකිවිය.
මේ නාවාගල සෑ ප්‍රතිසංස්කරණය කරමින් වසර දෙකක කාලය තුල සතරැස් කොටුවට අඩි දොළහක් පමණ වන තෙක් රැගෙන එන්නට පුරාවිද්‍යා දේපාර්තුමේන්තුවට සහ නාවාගල විහාරස්ථ දායක සභාවටත් වර්ථමාන නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුසාසනා මත අවස්ථාව සැලසුනි.



මේ ලිපිය ලියන මා හට ද අපගේ බෝසත් පාරමිතා පදනම මඟින් මේ සෑ කර්මාන්තය සදහා මහත් සේ උපකාර සැලසීමටත්, ගර්භධාතූ නිධානය සඳහා භාග්‍යවතුන් වහන්සේට ගන්ධ කුටියක්, රිදීමය ඇතිරිල්ලක් සහිත ඇඳක්, රිදීමය පාත්‍රයක් පැන් වළදන භාජනයක්, පැන් කෙණ්ඩියක් පාපිසි හා වැඩහිදිනා ආසනයක්, වගේ ම වැසිකිලි කුටියක් සහ ඒ සඳහා අවශ්‍ය කරන දේ රිදියෙන් කරවා ද පුජා කරන්නටත්, එම ගන්ධ කුටිය තුල රන් නෙළුමක සර්වඥ ධාතූන් වහන්සේලා තුන් නමක් සහ , රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා 27 නමක් ද තැන්පත් කොට අඩි තුනක් උස ගල් කරඩුවක නිධන් කර පිං කරගන්නට අවස්ථාව ලබාගන්නට භාග්‍යවන්ත විමු. එසේ ම තවද මේ මහා සෑ රදුන් අටවිසි බුදු රජාණන් වහන්සේලාගේ ද ගුණ සිහිපත් කොට කරවන්නේ නම් මැනවැයි සිතා සෑ ගර්භයෙහි කුටීර විසි අටක් කරවා දායක සභාවේ සහාය ඇතිව අඩියක් පමණ උසැති පිත්තල ලෝහයෙන් කරවූ බුද්ධ ප්‍රතිමා නිධන් කොට පුජා කරවන්නට තරම් භාග්‍යවන්ත විමු.
ඔබත් මේ උතුම් බුදු රජාණන් වහන්සේ උදෙසා කරවූ සෑ රජුන් නැවත ගොඩ නගන්නට දායකත්වය සලසා මෙලොව පරලොව දෙලොව සැපත හා අමා නිවන පිණිස පවතින මේ මහා පිනට දායකත්වය ලබගන්නට වාසනාව ලබත්වා.



නාවාගල සෑ රදුන් සඳහා අවශ්‍ය ද්‍රව්‍යය.
ගඩොල් ලක්ෂ 2ක් පමණ, (ගම් වාසීන්ගේ උපකාර ඇතිව ගඩොල් නිෂ්පාදනය කරන අතර එක් ගඩොලක් සඳහා බර පැන රුපියල් 4කි.)
අළුහුණු කොට්ට 1250ක් (කොට්ටයක මිල 250කි.)
සිමෙන්ති කොට්ට 750ක්
වැලි, 130 (කියුබ් එකක් සඳහා මිල 6500)


මේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ උදෙසා දුටු ගැමුණු රජුගේ මැණියන් වූ, මතු මෛත්‍රි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මැණියන් වන්නට පිං ඇති විහාරමාහාදේවී මැණියන් විසින් කරවූ මහා සෑයට දායක වෙමින් පිනෙන් පිරුණු ජීවිතයෙන් අමා නිවන් මඟ සරසා ගනිමු.
සතං සමාගමෝ හෝතු යාවනිබ්බාණ පත්තියා. මේ සත්පුරුෂ එකමුතුව යාවනිබ්බාණ වේවා.




නවාගල සැය ඉදිකිරීම් කටයුතු සදහා ආධාර - https://docs.google.com/forms/d/1T6PJZawFM9u91UxEKEXQObasQqX71aBtFRgfGfM4lvw/edit?usp=sharing